පාන්දර එකට පොතක් කියවන්න කියල පැදුරත් එලාගෙන වාඩිවුණත් පිටුවකට දෙකකට වඩා කියවන්න හම්බුණේ නෑ. මදුරුවො ගොන්නක් ඇවිත් කන ළඟ කූං කූං ගාන්න ගත්තා. චටාස්! එකෙක් ඉවරයි. ඔහොම ඔහොම මදුරුවො එකා දෙන්න මරගෙන ගියා. ඒත් මේකෙ ඉවරයක් නෑනෙ. මුං වැවෙනවද කොහෙද. කොහොමහරි ටිකක් වෙලා යනකොට පොත වහල පැත්තක. මදුරු මලකුණු තොගයක් මගෙ ළඟ. නිකමට වගේ ගනන් කරා. විසි අටයි. ටිකක් වෙලා මම මේක දිහා බලන් හිටියා. දෙයියනේ මම පැයක් දෙකක් ඇතුළත ප්‍රාණඝාත තිහක් විතර කරලා! උන් මදුරුවො නැතුව පූසො බල්ලො වුණානම්? හරක් වුණානම්? අලි වුණානම්? එහෙමත් නැත්තම් මිනිස්සු වුණානම්? මේ එකක් තව එකකට වඩා වෙනස්ද? ඔව්, පොතේ හැටියට එහෙම තමයි. එත් එහෙම වෙනසක් තියනවනම් ඒක අපි මනින මිනුම් දණ්ඩ මොකක්ද? එක ප්‍රාණයක් තව ප්‍රාණයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මදුරුවගෙ ජීවිතේ අලියගෙ තරම් වටින්නෙ නෑ කියල, මිනිහෙක්ගෙ ජීවිතේ බල්ලගෙ ජීවිතේට වඩා වටිනව කියල තීරණය කලේ කොහොමද? කවුරුහරි මිනීමැරුවොත් සමාජයෙන් ඒ මිනිහට අනේක විධ ගැරහුම් එනව. නීතියෙන් දඬුවම් ලැබෙනව. ආගමේ දහමෙ කියන හැටියට අපායෙ යනව. කෙනෙක් අලියෙක් මැරුවොත් අපි ඒ මිනිහ මොන පවුකාරයෙක්ද කියල කියනව. මම මදුරුවෙක් මැරුවොත් මොකක්ද මට එන ප්‍රතිවිපාකය? ප්‍රාණඝාතයේ තරම මනින්නෙ මරණ ලද සතාගෙ ශරීර ප්‍රමාණයෙන්ද? නැත්තම් සතාගෙ අහිංසක කමෙන්ද? නැත්තම් සතාව මරණ එක කොච්චර ලේසිද අමාරුද කියන එකෙන්ද? එහෙමත් නැත්තම් සතාගෙ බුද්ධියේ තරමින්ද? පෞද්ගලිකව මට පුළුවන් මේක වර්ග කරන්න මම සතා මැරුවට පස්සෙ මට කොච්චර වරදකාරී හැඟීමක් ඇතිවෙනවද කියන එකෙන්. වෙන විදියකින් කිව්වොත්, මගෙ හෘද සාක්ෂිය ඒක තීරණය කරනව. සමහර වෙලාවට ඒක තීරණය වෙන්නෙ ඒ සතා මට කරදර කරපු තරම අනුව වෙන්න පුළුවන්. පූසෙකුගෙ කකුල පෑගුණාම මට දුක හිතුණට, මට වද කරපු මදුරුවෙක් චප්ප කරල දැම්මම මට දැනෙන්නෙ තෘප්තියක් සහ කෲර සතුටක්. මම වැරදි වෙන්න පුළුවන්. කොහොම වුණත් බාගයක් මිනිස්සුන්ට හෘද සාක්ෂිය කියල එකක් ඇත්තෙවත් නැති ලෝකෙක ඒ තියරිය හැමෝටම වලංගු වෙන්නෙ නැහැනෙ. අපෙ අල්ලපු ගෙදර පොඩි එකා පාඩුවෙ පාරෙ යන බල්ලො පූසොන්ට ගල් වලින් ගහන්නෙ උන් මොන වරදක් කලාටද.
ප්‍රශ්න ගලාගෙන එනව. ප්‍රශ්න ටික ලියල තියන්න හිතුනා, කවදහරි පිළිතුරු ලැබුනොත් කියල. මදුරුවො මරන්නෙ නැතුව පන්නල දාන්න හඳුන් කූරක් ගැහුව. දැන් ආයෙත් පොත කියවන්න පටන්ගන්න වෙලාව.
අයාලේ..
මම කවදත් ගිය ගමන
Saturday, January 10, 2015
ප්‍රාණ සංසන්දනය
Thursday, July 3, 2014
අවිනිශ්චිත
මම මාව හොයනවා. මම කවුද? මම යායුත්තේ කොතනටද? දවසක් දවසක් ගානෙ මම මගෙන් ප්‍රශ්න කරනවා. මම නවකතාවක් කියවනවා.. ඒ කතාව ඇතුලෙත් මම හොයන්නෙ මාව. මම ගානක් හදනව. මම කැමති දේ ඒකද? මම චිත්‍රයක් අදිනව. මට බැහැ ඒක ඉවරකරගන්න. මම එතනත් නැහැ. මම යමක් ලියන්න උත්සාහ කරනව. ඒකත් තව එක අසාර්ථක ප්‍රයත්නයක් විතරයි.. මම කොහෙද? කදු මුදුනකට වෙලා මම කල්පනා කරනව. දිය ඇල්ලක් කඩාගෙන හැලෙන දිහා බලාගෙන මම කල්පනා කරනව. ඒත් මට තාමත් මාව හොයාගන්න බෑ. මට මං ගැන තියෙන විශ්වාසය ටිකෙන් ටික හීන වෙලා යනවා. මට කවදාවත් මාව හොයාගන්න බැරිවෙයිද කියල බයකුත් ඇතිවෙනව. කවදා වෙනකන් හොයන්නද? කවදා වෙනකල් මම මගෙන් ප්‍රශ්න කරන්නද?
මම කෝ?
ගහක කොල අතරෙ
කුරුලු තටු අතරෙ
වැල්ලෙ වැලි අතරෙ
සොයනවා මම මාව
කලු ගැහුන වලාවක
වැටෙන පිනි බිංදුවක
නගින බැස යන රළක
සොයන්නෙමි මම මාව
පොතක පිටු මැදින්
ඉලක්කම් මැදින්
පින්සලේ තුඩ අගින්
සොයන්නේ මම මාව
සරන දිගු මෙ ගමනට
තිත තබන්නට කලින්
ඔබේ නෙතු තුළින්වත්
හමුවෙයිද මට මාව?
Monday, February 24, 2014
ඒක පාර්ශ්විකව..
නොදැනුණා නොවෙයි
එහෙත් මුනිවත රැක්කෙමි
ඔබ අන්සතු බව දැන
ඔබ ඉඩ දෙන දුරකින් හිඳ
බලන් ඉන්නම් නිසලව
ආලය කරන්නම්
ඒක පාර්ශ්විකව මම
මායාවක්?
Wednesday, December 4, 2013
Ultimate පුරුද්ද
මගෙ ළඟ ඉඳගෙන හිටිය ආන්ටි අහනව; "දුව කැම්පස්ද?"
මම: "ඔව් ආන්ටි."
"මම දැන් ගොඩක් වෙලා ඉඳං බලං හිටියෙ..දුව ලස්සන ළමයෙක් ඒවුණාට කැත පුරුද්දක් තියනව."
"නියපොතු හපන එක." දෙන්නම එක සැරේ කිව්වෙ.
"අපෙ දුවටත් ඔය පුරුද්ද තියනව..බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ."
කෙටි නිහැඬියාවක්.
"Boy කෙනෙක් ඉන්නවද?"
"නෑ." හිනත් යනව.
"ඉන්නවනම් ගහයි.."
මට කියන්න හිතුනා මම හොයාගන්නෙත් නියපොතු හපන කොල්ලෙක්ම තමා කියලා..ඒත් හිනාවකින් පිළිතුරු දීලා කට වහගත්තා :D
Monday, November 25, 2013
මම ජීවත් වෙලා ඉවර නෑ..
එකක් ඇනගත්තා කියලා මැරෙනවැයි? වැදගත්ම දේ අද, මේ මොහොතෙ සතුටින් ඉන්න එක..ජීවිතේ ජීවත් වෙන එක. හීන පස්සෙ දුවනකොට අපිට ඕක මතක් වෙන්නෙ නෑ. හති වැටුනට පස්සෙ ආයෙ ඒ මොහොත හම්බෙන්නෙත් නෑ. සීමා මායිම් කඩාගෙන ගිහිං මම කරන්නෙ එ මොහොත අල්ලගන්න එක.. මිනිස්සු මං ගැන කතා කියනව, බනිනව, ඒත් මම සතුටින් නම් ඒ කිසිදේකින් මට වැඩක් නෑනෙ. අද paper එක කෙලවුනත් මම හිනාවෙලා ඉන්නෙ ඒකයි :)
