පාන්දර එකට පොතක් කියවන්න කියල පැදුරත් එලාගෙන වාඩිවුණත් පිටුවකට දෙකකට වඩා කියවන්න හම්බුණේ නෑ. මදුරුවො ගොන්නක් ඇවිත් කන ළඟ කූං කූං ගාන්න ගත්තා. චටාස්! එකෙක් ඉවරයි. ඔහොම ඔහොම මදුරුවො එකා දෙන්න මරගෙන ගියා. ඒත් මේකෙ ඉවරයක් නෑනෙ. මුං වැවෙනවද කොහෙද. කොහොමහරි ටිකක් වෙලා යනකොට පොත වහල පැත්තක. මදුරු මලකුණු තොගයක් මගෙ ළඟ. නිකමට වගේ ගනන් කරා. විසි අටයි. ටිකක් වෙලා මම මේක දිහා බලන් හිටියා. දෙයියනේ මම පැයක් දෙකක් ඇතුළත ප්‍රාණඝාත තිහක් විතර කරලා! උන් මදුරුවො නැතුව පූසො බල්ලො වුණානම්? හරක් වුණානම්? අලි වුණානම්? එහෙමත් නැත්තම් මිනිස්සු වුණානම්? මේ එකක් තව එකකට වඩා වෙනස්ද? ඔව්, පොතේ හැටියට එහෙම තමයි. එත් එහෙම වෙනසක් තියනවනම් ඒක අපි මනින මිනුම් දණ්ඩ මොකක්ද? එක ප්‍රාණයක් තව ප්‍රාණයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මදුරුවගෙ ජීවිතේ අලියගෙ තරම් වටින්නෙ නෑ කියල, මිනිහෙක්ගෙ ජීවිතේ බල්ලගෙ ජීවිතේට වඩා වටිනව කියල තීරණය කලේ කොහොමද? කවුරුහරි මිනීමැරුවොත් සමාජයෙන් ඒ මිනිහට අනේක විධ ගැරහුම් එනව. නීතියෙන් දඬුවම් ලැබෙනව. ආගමේ දහමෙ කියන හැටියට අපායෙ යනව. කෙනෙක් අලියෙක් මැරුවොත් අපි ඒ මිනිහ මොන පවුකාරයෙක්ද කියල කියනව. මම මදුරුවෙක් මැරුවොත් මොකක්ද මට එන ප්‍රතිවිපාකය? ප්‍රාණඝාතයේ තරම මනින්නෙ මරණ ලද සතාගෙ ශරීර ප්‍රමාණයෙන්ද? නැත්තම් සතාගෙ අහිංසක කමෙන්ද? නැත්තම් සතාව මරණ එක කොච්චර ලේසිද අමාරුද කියන එකෙන්ද? එහෙමත් නැත්තම් සතාගෙ බුද්ධියේ තරමින්ද? පෞද්ගලිකව මට පුළුවන් මේක වර්ග කරන්න මම සතා මැරුවට පස්සෙ මට කොච්චර වරදකාරී හැඟීමක් ඇතිවෙනවද කියන එකෙන්. වෙන විදියකින් කිව්වොත්, මගෙ හෘද සාක්ෂිය ඒක තීරණය කරනව. සමහර වෙලාවට ඒක තීරණය වෙන්නෙ ඒ සතා මට කරදර කරපු තරම අනුව වෙන්න පුළුවන්. පූසෙකුගෙ කකුල පෑගුණාම මට දුක හිතුණට, මට වද කරපු මදුරුවෙක් චප්ප කරල දැම්මම මට දැනෙන්නෙ තෘප්තියක් සහ කෲර සතුටක්. මම වැරදි වෙන්න පුළුවන්. කොහොම වුණත් බාගයක් මිනිස්සුන්ට හෘද සාක්ෂිය කියල එකක් ඇත්තෙවත් නැති ලෝකෙක ඒ තියරිය හැමෝටම වලංගු වෙන්නෙ නැහැනෙ. අපෙ අල්ලපු ගෙදර පොඩි එකා පාඩුවෙ පාරෙ යන බල්ලො පූසොන්ට ගල් වලින් ගහන්නෙ උන් මොන වරදක් කලාටද.
ප්‍රශ්න ගලාගෙන එනව. ප්‍රශ්න ටික ලියල තියන්න හිතුනා, කවදහරි පිළිතුරු ලැබුනොත් කියල. මදුරුවො මරන්නෙ නැතුව පන්නල දාන්න හඳුන් කූරක් ගැහුව. දැන් ආයෙත් පොත කියවන්න පටන්ගන්න වෙලාව.
Saturday, January 10, 2015
ප්‍රාණ සංසන්දනය
Subscribe to:
Posts (Atom)